වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් අද (05) ප්‍රථම වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පසුගිය ජනවාරි 03 වනදා වෙනිසියුලාවේ කරකාස් අගනුවරදී අමෙරිකානු හමුදා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර, අද දහවල් මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අදාළ නඩු විභාගය ආරම්භ වීමට නියමිතය.
මධුරෝ සහ ඔහුගේ බිරිඳට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ මෙහෙයවීම මෙන්ම නීති විරෝධී ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර ඇත. එමෙන්ම එම ආයුධ භාවිත කරමින් අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ද ඔවුන්ට එල්ල වී තිබේ. මෙම ඓතිහාසික නඩු විභාගය එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් කේ. හෙලර්ස්ටයින් විසින් මෙහෙයවනු ලබන බව වාර්තා වේ.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මධුරෝ ඇතුළු වෙනිසියුලානු නායකයින් වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ සිය රජයේ තනතුරු අවභාවිත කරමින් එක්සත් ජනපදයට කොකේන් ආනයනය කිරීමට පහසුකම් සලසා ඇති බවයි. මීට පෙර 2020 වසරේදී ද නිකොලස් මධුරෝ වෙත මෙවැනිම චෝදනා එල්ල වූ අතර, ඒ අවස්ථාවේදී ඔහු එම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.