පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ පහක අධ්‍යයන කටයුතු දෙසැම්බර් මස 29 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී. මධුජිත් මහතා සඳහන් කළේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.
ඒ අනුව පළමු අදියර යටතේ දෙසැම්බර් 29 වැනිදා කෘෂිකර්ම පීඨය, පශු වෛද්‍ය පීඨය සහ දන්ත වෛද්‍ය පීඨය යන පීඨයන්හි අධ්‍යයන කටයුතු ආරම්භ වීමට නියමිතය. දෙවන අදියර යටතේ ලබන වසරේ ජනවාරි මස 05 වැනිදා සිට ශාස්ත්‍ර පීඨය සහ විද්‍යා පීඨය යන පීඨ දෙකෙහි කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව උපකුලපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
කෙසේ වෙතත්, කළමනාකරණ පීඨයේ පවතින එක් ගොඩනැගිල්ලක් තවමත් අවදානම් තත්ත්වයක පවතින බැවින් එම පීඨයේ කටයුතු ආරම්භ කිරීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත. අදාළ ගොඩනැගිල්ලේ පවතින අවදානම සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව, සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් එම පීඨය විවෘත කරන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.