නීති විරෝධී ලෙස උපයාගත් මුදල්, දේපළ සහ වත්කම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පිහිටුවා ඇති නව ‘අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය’ අද (ඔක්තෝබර් 20) විවෘත කිරීමට නියමිතය.
පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති මෙම ඒකකය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කිරීමට නියමිතය.
මෙම නව කොට්ඨාශය පිහිටුවා ඇත්තේ 2025 අංක 05 දරණ ‘අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ’ විධි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහාය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා වසර 03ක කාලයකට මෙම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇති අතර, එම පත්වීම ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතියට යටත්ව සිදු කර ඇත. ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි.
මෙම කොට්ඨාශය මඟින් රාජ්‍ය ආයතන 34කට අදාළව සිදු කරනු ලබන විමර්ශනවලට සහය පළ කළ යුතු බවට පනත මගින් නීත්‍යානුකූලව දැනුම් දී තිබේ.
ඕනෑම ආකාරයකින් සිදුකර ඇති වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නීත්‍යානූකූලව මෙම කොට්ඨාශයට බලය හිමිවන අතර, අපරාධමය නොවන වත්කම් ඉපැයීම් පිළිබඳව සිවිල් නඩු පැවරීමේ හැකියාව ද පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
මහජනතාවට ද මෙම කොට්ඨාශය සඳහා සෘජුව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන අතර, නීත්‍යානුකූල නොවන ආකාරයට උපයා ගත් දේපළ දින 30ක කාලයකට තහනම් කිරීමට හෝ පවරා ගැනීමට ද මෙයට බලය හිමිව ඇත.