වව්නියාව, කළුකුන්නම්මඩුව ප්‍රදේශයේදී යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක්කර පලාගිය ලොරි රථ රියදුරෙකු අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන පරිදි, අණ නොතකා ධාවනය කළ කුඩා ලොරි රථයක් පසුපස යතුරුපැදියකින් හඹා යමින් සිටි නිලධාරීන් දෙදෙනාව සැකකාර රියදුරු විසින් හිතාමතාම අනතුරට ලක් කර ඇත.
මෙම බිහිසුණු අනතුර සිදුවන අවස්ථාවේ නිලධාරීන් දෙදෙනා මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් ඇති අතර, ඔවුන් ගමන් කළ යතුරුපැදිය ලොරි රථයේ පැටලී ඉදිරියට ඇදී යන අයුරු පසුපසින් පැමිණි වාහනයක සිටි අයෙකුගේ ජංගම දුරකථනයක සටහන්ව තිබුණි. යතුරුපැදිය ලොරියේ සිරවීම හේතුවෙන් රියදුරු විසින් වාහනය මාර්ගයේ අතහැර දමා අසල කැලෑ රොදකට පැන ගොස් තිබේ.
අනතුරුව බූඔය පාලම අසල පිහිටි යුද හමුදා කඳවුර දෙසට පලා යමින් සිටි සැකකරු යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඊරට්ටපෙරියකුලම පොලීසිය වෙත භාර දී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විට වව්නියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ. සැකකරු සහ ලොරි රථය වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.