2015 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයා සඳහා පිරිනමන “මහාචාර්ය ඊ. ඕ. ඊ. පෙරෙයිරා” රන් පදක්කම අදාළ විශ්වවිද්‍යාලයේ විද්‍යුත් අංශයේ උපදේශකයකු වන ඒ. එච්. ඒ. ඩී. අබේසේකර මහතා වෙත පිරිනැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරනු ලැබීය.
එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිණියක වන මොරටුව ප්‍රදේශයේ පදිංචි කල්පනා මානවඩු මහත්මිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා, මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
පෙත්සම්කාරිය කියා සිටියේ, අදාළ රන් පදක්කම සඳහා 2016 වසරේ මාර්තු මස 9 වනදා තමන් අයදුම්පත් ඉදිරිපත් කළ බවය. පසුව ලකුණු දීමේ ක්‍රමවේදය වෙනස් කර තිබෙන බවට පාලනාධිකාරිය නිවේදනය කළ බවත්, ඉන් අනතුරුව තමන් යළි අයදුම් පතක් ඉදිරිපත් කළ බවත් ඇය කියා සිටියාය. කෙසේ වෙතත්, අදාළ රන් පදක්කම උපදේශක ඒ. එච්. ඒ. ඩී. අබේසේකර වෙත පිරිනැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කළ බව පෙත්සමේ සඳහන් විය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම රන් පදක්කම පිරිනැමීමේ ක්‍රියාවලියේදී විධිමත් විනිවිඳභාවයකින් යුත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බව පෙනී යන බවය. මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කාරියට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇති බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
ඒ අනුව, අදාළ රන් පදක්කම උපදේශක ඒ. එච්. ඒ. ඩී. අබේසේකර වෙත පිරිනැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගනු ලැබූ තීරණය බලරහිත කරන බව තීන්දුවේ සඳහන් වේ. කෙසේ වෙතත්, නියමිත කාල සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් මෙම රන් පදක්කම පෙත්සම්කාරියට පිරිනමන ලෙස නියෝගයක් නිකුත් නොකරන බව ද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ඉදිරියේදී මෙම රන් පදක්කම් පිරිනැමීම සඳහා විනිවිඳභාවයකින් යුත් ලකුණු ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ද විනිසුරු මඩුල්ල විසින් අදාළ විශ්වවිද්‍යාලයට නියෝග කර ඇත.