කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් ප්‍රචාරය කරන ලද අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාට වන්දි මුදලක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (10) නියෝග කර තිබේ.
අදාළ නඩුවේ තීන්දුව වසර 13කට පසුව ලබා දෙමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙම නඩුව පැවරීමට හේතු වී ඇත්තේ 2010 ජනාධිපති මැතිවරණ සමයේදීය. එවකට විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රණවක මහතා, කතරගම නිවාඩු නිකේතනයකට ඇඳක් රුපියල් 80,000කට කොළඹ සිට ගෙන ගිය බවට එවකට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයෙකු වූ රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙනි.
අධිකරණය විසින් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තීරණය කර ඇති අතර, එමඟින් පාඨලී රණවක මහතාගේ චරිත ඝාතනයක් සිදු වූ බවත් සඳහන් කර ඇත.
අධිකරණ තීන්දුව අනුව, රංජන් ජයලාල් මහතාට අමතරව, ඒ පිළිබඳ වාර්තා කළ මාධ්‍ය ආයතනය සහ මාධ්‍යවේදිනියද ඇතුළු සියලු පාර්ශ්ව මෙම අසත්‍ය ප්‍රකාශයට වගකිව යුතු බවට තීරණය වී ඇත.
ඒ අනුව, එම පාර්ශ්වයන්ට පාඨලී රණවක මහතාට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවන්නැයි අධිකරණය නියෝග කර තිබේ.
අධිකරණ තීන්දුවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රණවක මහතා කියා සිටියේ, මෙම නඩුව පැවරූයේ දූෂණ විරෝධී බව පවසමින් තමන්ට එරෙහිව මඩ ගැසූ දේශපාලන ව්‍යාපාරයට ප්‍රතිචාරයක් ලෙස බවයි.
තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට අභියෝග කළ ඔහු, තමන්ට වන්දි මුදල් අවශ්‍ය නොවන බවත්, විදුලිබල මණ්ඩල සේවකයින්ගෙන් කප්පම් ලෙස ගෙන තිබෙන රුපියල් කෝටි සිය ගණනක් ආපසු ගෙවිය යුතු බවත් සඳහන් කළේය.
වසර 30ක් පුරා විදුලිබල මණ්ඩලයේ සිදු කළ වංචා හා කප්පම් පිළිබඳ නිසි පරීක්ෂණයක් අල්ලස් දූෂණ කොමිසම විසින් සිදු කළ යුතු බවද රණවක මහතා අවධාරණය කළේය.
අවසාන වශයෙන්, මෙම තීන්දුව හරහා “හොරු, දූෂිතයෝ” යන චෝදනා මගින් දශක ගණනාවක් පුරා දේශපාලනය කර ඇති අයට දැඩි පිළිතුරක් ලැබී ඇති බව ඔහු පැවසීය.