වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අනුරාධපුරයේ කැකිරාව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් තිදෙනෙකු අද (ඔක්තෝබර් 26) අලුයම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, මෙම වැටලීම අතරතුරදී ප්‍රධාන සැකකරුවෙකු පොලිස් නිලධාරීන් සමඟ පොරබදා පලා ගොස් තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් අනුව, කැකිරාව පොලිස් වසමේ, නිවාස 50 ප්‍රදේශයේ අත්හැර දමන ලද නිවසක සැඟවී සිටි මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදා නිලධාරීන් එක්ව කටයුතු කර ඇත.
මෙම වැටලීමේදී, ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ට රැඳී සිටීමට පහසුකම් සැලසූ එම ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, ඝාතනයට භාවිතා කළ යතුරුපැදිවලින් එක් යතුරුපැදියක්, රුපියල් ලක්ෂ 12කට අධික මුදල් ප්‍රමාණයක්, මෙන්ම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා උපකරණද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම වැටලීම අතරතුරදී සැකකරුවන් කිහිප දෙනෙකු පොලිසිය සමඟ ඇති වූ පොරබැදීමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටී.
පොලිසිය සමඟ පොරබදා පලා ගිය ප්‍රධාන සැකකරු ලෙස හක්‌මන පරන ලියනගේ නුවන් තාරක නම් කර ඇත. ඔහු කොන්තපෙන, බැඳිපිට, අඟුළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ ශරීර ලක්ෂණ ලෙස, අඩි 5 අඟල් 6ක් පමණ උසකින් යුක්ත වන අතර, දකුණු අතේ උඩු බාහුවේ ඉංග්‍රීසියෙන් “ANURADA” ලෙසද, වම් අතේ “හිතුමතේ ජීවිතේ” ලෙසද පච්චා කොටා ඇත.
මෙම සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් වහාම පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පොලිස්පතිට කියන්න (WhatsApp) – 071 859 8888
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය – 011 233 7162 / 071 859 2087
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාන්ලාගේ මෙහෙයවීමෙන් මෙම විමර්ශන කටයුතු සිදු කෙරේ.