පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අදාළව කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ ඔහුව කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත මෙලෙස මාරු කර යවා ඇති බවයි.
පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ වීඩියෝවක දැක්වුණේ සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු නිවසක රැඳී සිටි තවත් පුද්ගලයෙකුට පහර දෙන ආකාරයයි. මෙම දර්ශන මහජනතාව අතර දැඩි කතාබහට ලක්වූ අතර ඒ පිළිබඳව වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබුණි.
මෙම විමර්ශන මඟින් අදාළ වීඩියෝවේ පහරදීම සිදු කරන්නේ කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව මූලික පියවරක් ලෙස මෙම ස්ථාන මාරුවීම ලබා දී ඇති අතර, අදාළ නිලධාරියාට එරෙහිව ඉදිරියේදී දැඩි ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.