පවතින දැඩි ශීතල කාලගුණයත් සමඟ අද (24) අලුයම නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල් තුහින පතිත වී තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයිනේ අවම උෂ්ණත්වය අද දිනයේ ද වාර්තා වී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයෙන් වන අතර, එය සෙල්සියස් අංශක 7.8ක් ලෙස සටහන් විය. මෙම මල් තුහින තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගරය සහ අවට තණබිම් සුදු පැහැති සළු ඇඳගත් ස්වභාවයක් ගෙන තිබූ අයුරු දක්නට ලැබුණි.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල අද උදෑසන කාලයේ ඝන මීදුම් තත්ත්වයක් පැවතිණි. මෙම තත්ත්වය ප්‍රදේශයේ ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා පමුණුවා ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම හැටන් – නුවරඑළිය සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ග ඇතුළු අතුරු මාර්ග රැසක මීදුම හේතුවෙන් දෘශ්‍යතාව අවම වී පැවති බැවින් රියදුරන් දැඩි අපහසුතාවයට පත් විය.
මීදුම් සහිත කාලගුණය හමුවේ සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන, ඉතා සැලකිලිමත් ලෙසත් සෙමින් රිය ධාවනය කරන ලෙසත් හැටන් පොලිසිය රියදුරන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.