දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහතික වී තිබේ. ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ සමීපතම මිතුරෙකු ලෙස පෙනී සිටින බව පවසන අග්‍රාමාත්‍යවරයා, වත්මන් අභියෝග හමුවේ ශ්‍රී ලංකාව තනි නොකරන බව අවධාරණය කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවනු ලැබූ විශේෂ ලිපියක් මගින් මේ බව දැනුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ආපදාවෙන් පසුව උදා වී ඇති මීළඟ අදියරේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වන රාජ්‍යතාන්ත්‍රික සහ ද්විපාර්ශ්වික සහයෝගය උපරිමයෙන් ලබා දීමට ඉන්දියාව සූදානමින් සිටින බව එහි දක්වා ඇත.
විශේෂයෙන්ම සුළි කුණාටුවෙන් අඩාල වූ ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේදී සහ අනාගතයේ මෙවැනි ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේදී ඉන්දියාව අතීතයේ මෙන්ම ශ්‍රී ලංකාව සමඟ උරෙන් උර ගැටී සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. මේ වෙනුවෙන් ඉන්දියාව විසින් ඉතා පුළුල් ආධාර පැකේජයක් ශ්‍රී ලංකාවට ලබා දීමට සැලසුම් කර ඇති බව ද එහි සඳහන් වේ.
මෙම ආධාර පැකේජය හරහා දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර ආර්ථික සහ මානුෂීය සහයෝගීතාවයේ නව මාවතක් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කලාපීය සහයෝගීතාවය තුළ ඉන්දියාව ඉටුකරන මෙම සුවිශේෂී මැදිහත්වීම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට මහඟු ශක්තියක් වනු නොඅනුමානය.