අනතුරකින් පසු බැන වැදී දුරකථනයෙන් ද තර්ජනය කළ බවට චෝදනා
කාන්තා ග්‍රාම නිලධාරීවරියකට වාචිකව අපහාස කර තර්ජනය කිරීමේ චෝදනාව මත ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අද (26) අලුයම මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම ප්‍රාදේශීය සභාවේ මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරන මන්ත්‍රීවරයා වේ.
පැමිණිලිකාර ග්‍රාම නිලධාරීවරිය පවසන පරිදි, පසුගිය දෙසැම්බර් 05 වන දින ඇය ආපදා කළමනාකරණ රාජකාරියක යෙදී සිටියදී ඇය ගමන් කළ යතුරුපැදිය මෙම මන්ත්‍රීවරයා පදවාගෙන ආ කුඩා ලොරි රථයක ගැටී ඇත. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා තමාට අසභ්‍ය වචනයෙන් බැන වැදී අපහාස කළ බව ඇය පවසයි.
අනතුර සම්බන්ධයෙන් ඇය මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර තිබේ. ඉන් අනතුරුව, දෙසැම්බර් 08 වන දින පැවැති ආපදා කමිටු රැස්වීමකින් පසුව මන්ත්‍රීවරයා තමාට දුරකථනයෙන් අමතා යළිත් වාචිකව හිරිහැර කර තර්ජනය කළ බවට ද ඇය චෝදනා කරයි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිසිය කළ දැනුම්දීමකට අනුව මන්ත්‍රීවරයා අද උදෑසන මුන්දලම පොලිසියට භාර වී ඇත. එහිදී ඔහු අත්අඩංගුවට ගත් අතර, සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.