උතුරු පළාත් සභාවේ හිටපු මැති ඇමතිවරුන් පිරිසක් පැරණි ක්‍රමය යටතේම පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස අද (සැප්තැම්බර් 21) රජයෙන් දැඩි ඉල්ලීමක් කළහ. යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේ, වසර 12කට පසුව උතුරු පළාත් සභා මැතිවරණය පැවති 2013 සැප්තැම්බර් 21 දිනට අදට වසරක් සපිරෙන බැවිනි.
මෙම හමුවට සහභාගී වූ ඉලංකෙයි තමිල් අරසුකච්චි, ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ඩී.පී සහ ඊ.පී.ආර්.එල්.එෆ් යන පක්ෂ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් වන එම්මානුවෙල් ආර්නෝල්ඩ්, කජදීපන්, සබා කුගදාස්, තවනාදන් සහ ආචාර්ය සර්වේෂ්වරන් මහත්වරුන්, ආණ්ඩුවේ ප්‍රකාශ සම්බන්ධයෙන් සැක පළ කළහ.
“ආණ්ඩුව සීමා නිර්ණය අවසන් කර මැතිවරණයක් පවත්වන බව පැවසුවත්, ඒ සඳහා නිශ්චිත කාලයක් දී නැහැ” යැයි ඔවුන් පැවසීය. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), ප්‍රතිපත්තිමය වශයෙන් පළාත් සභා ක්‍රමයට විරුද්ධ වීම මෙම සැකයට ප්‍රධාන හේතුවක් බව ඔවුහු පෙන්වා දුන්හ. ජවිපෙ සාමාජිකයන් පළාත් සභා ක්‍රමය ‘සුදු අලියෙක්’ ලෙස හඳුන්වමින් පක්ෂ අභ්‍යන්තරයේ කතා කරන බවට ද චෝදනා එල්ල විය.
ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බව හිටපු මන්ත්‍රීවරු අවධාරණය කළහ. පළාත් සභා ක්‍රමය ජාතික ගැටලුවට විසඳුමක් නොවන බව පිළිගත්තද, එය දමිළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ දෙවන දේශපාලන ස්ථරය ලෙස සලකන බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් කඩිනමින් මැතිවරණයක් පැවැත්විය යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි.