පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා මේ වන විට රටේ නිශ්චිත නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අවධාරණය කරයි.
කොමසාරිස් ජෙනරාල්වරයා පෙන්වා දෙන්නේ, මීට පෙර පැවති නීතිය අහෝසි කර ඇති අතර, ඒ වෙනුවට සකස් කරමින් තිබූ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නතර වී ඇති බවයි. මෙම තත්ත්වයට මුළුමනින්ම වගකීම දැරිය යුත්තේ ව්‍යවස්ථාදායකය බවද ඒ මහතා අවධාරණය කළේය.
එබැවින්, ව්‍යවස්ථාදායකය විසින් මේ පිළිබඳව කඩිනමින් තීන්දුවක් ගත යුතුව තිබෙන බවත්, ජනතා නියෝජිතයන් ඡන්දය ගැන පමණක් කතා නොකර, ඊට අදාළ නීතිය කඩිනමින් ස්ථාපිත කර ගැනීමට අවංකවම උනන්දු විය යුතු බවත් කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.
2018 වසරේදී ඉදිරිපත් කරන ලද 50:50 මිශ්‍ර සමානුපාත ක්‍රමය තුළ සීමා නිර්ණය ද අනිවාර්ය අංගයක් වූ නමුත්, එහි කටයුතු අවසන් වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු විෂය භාර අමාත්‍යවරයා ඇතුළු මුළු පාර්ලිමේන්තුවම ඊට එරෙහි වී තිබේ. ඉන් පසු එය නිරවුල් කිරීම සඳහා අගමැති ප්රමුඛ කමිටු කිහිපයක් පත් කළද, පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එහි කටයුතු අඩාල විය.
ඒ අනුව, මෙම නීතිය ස්ථාපිත කිරීම තවදුරටත් ප්‍රමාද වීම පළාත් සභා ඡන්දය පැවැත්වීම කෙරෙහි සෘජුවම බලපා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.