ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලායාම සඳහා යොදාගත් බෝට්ටුව පැදවූ බව කියන පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, සැකකාරිය පලායාමට යොදාගත් බෝට්ටුව ද යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ.
මෙම බෝට්ටුව, ඉෂාරාට ඉන්දියාවට පලායාමට මඟ සැලසූ බව කියන ඒ. ආනන්දන් නමැත්තාට අයත් අශ්වබල 400ක එන්ජිමකින් යුක්ත බෝට්ටුවක් බවට අනාවරණය වී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විසින් ආනන්දන් නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම බෝට්ටුව පැදවූ සැකකරු සහ අදාළ බෝට්ටුව සොයාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වේ.