ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත්වූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අද (11) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළාය.
ජනාධිපතිවරයා විසින් ඊයේ දින 2026 අයවැයට සමගාමීව සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව ඇය මෙම නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරන ලදී.
සිය රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තිය යටතේ ලබා දුන් පොරොන්දු ඉටුකිරීමට මේ වන විටත් වැඩකටයුතු රාශියක් ආරම්භ කර ඇති බවත්, තවදුරටත් සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට ඇති බවත් සඳහන් කළාය.
ජනමාධ්‍ය අමාත්‍යාංශය වැදගත් කාර්යභාරයක් ඉටුකරන කේන්ද්‍රීය අමාත්‍යාංශයක් වන බව පෙන්වා දුන් ඇය, වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තිය සහ රාජ්‍ය යාන්ත්‍රණය දේශීය හා ජාත්‍යන්තරයට පිළිබිඹුවන කැඩපත ජනමාධ්‍ය බව ද අවධාරණය කළාය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය වෛද්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා, අමාත්‍යාංශ ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ දීපා ලියනගේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී වී සිටියහ.