නේපාලයේ සංකීර්ණ සහ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට හානි සිදුව ඇති බවට වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූයේ, නේපාලයේ කත්මණ්ඩු නගරයේ පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය එරට සමාජ මාධ්‍ය කණ්ඩායම් සහ සෙසු ජන කොටස් සමඟ නිරන්තර සම්බන්ධතා තබා ගනිමින් ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාවට අවධානයෙන් සිටින බවයි. වර්තමානයේ නේපාලයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් 102 දෙනා ආරක්ෂිතව සිටින අතර, අවශ්‍ය අවස්ථාවක අවශ්‍ය සහාය ලබා දීමට නානාපති කාර්යාලය සූදානම් බවද අමාත්‍යාංශය නිවේදනයේ දක්වයි.
මේ අතර, උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමේ අරමුණින් නේපාල ආරක්ෂක අංශ හා හමුදාවට ඊයේ (9) රාත්‍රී 10 සිට නීතිය සහ සාමය රැකගැනීමේ වගකීම බාර දී තිබේ. නේපාල හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, සමහරුන් මෙම අර්බුදය ප්‍රයෝජනයට ගෙන කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම් සිදුකරන බවයි.
විදෙස් වාර්තා අනුව, නේපාල හිටපු අග්‍රාමාත්‍ය ජාලනාත් ඛනාල්ගේ බිරිඳ රාජ්‍යලක්ෂ්මි චිත්‍රකාර් විරෝධතාකරුවන් විසින් ඝාතනය කර තිබේ. ඇයව නිවසේ සිරකර ගිනි තැබීමෙන් මෙම මරණය සිදුව ඇත. නේපාල රජය සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට ගත් තීරණය පිළිබඳව විරෝධතාවක් ලෙස කත්මණ්ඩු නගරයේ පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ විය. මේ වන විට මෙම ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.
සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට රජය පියවර ගත් නමුත් විරෝධතාකරුවන් එය නොතකමින් දැඩි ලෙස විරෝධතා දිගටම ක්‍රියාත්මක කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, නේපාල අග්‍රාමාත්‍ය සහ ජනාධිපති ද තත්පරික තත්ත්වය මධ්‍යයේ ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඇඳිරිනීතිය නොතකා සිදුකරන විරෝධතා අතරතුර, අග්‍රාමාත්‍ය ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාල කොංග්‍රස පක්ෂයේ මූලස්ථානය සහ තවත් දේශපාලන නායකයන්ගේ නිවාස ගණනාවක් ගිනි තබා විනාශ කර ඇති බවද වාර්තා වේ