පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අපහාස සහ දේවේශ සහගත ප්‍රකාශයක් කළ බව චෝදනා කරමින්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලට එරෙහිව නීතිමය එන්තරවාසියක් යොමු කර තිබේ.
අදාළ එන්තරවාසිය නීතිඥයෙකු මඟින් අමාත්‍යවරයා වෙත යවා ඇති අතර, 2025 සැප්තැම්බර් 6 වන දින හෝ ආසන්න දිනයකදී හෝමාගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කළ ප්රකාශයකදී නාමල් රාජපක්ෂගේ ඡායාරූපය ප්‍රසිද්ධියේ පෙන්වා, ඔහුට අපහාස සිදුකර ඇති බව සඳහන් වේ.
එන්තරවාසියට අනුව, මෙම ප්‍රකාශයෙන් නාමල් රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදුකර ඇති අතර, ඔහු නියෝජනය කරන පොදුජන පෙරමුණට එරෙහි විරෝධතා සංවිධානයටද මෙය පාදක වී ඇත. ඒ අනුව, නාමල් රාජපක්ෂගේ චරිතය හා කීර්තිය අලාභයට පත්කර ඇති බවත්, එම හානිය රුපියල් බිලියනයකට අධික තක්සේරුවක් වන බවත් එන්තරවාසියේ සඳහන්ය.
එමගින් නියෝජ්‍ය අමාත්‍යවරයාට දින තුනක කාලය තුළ, මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රසිද්ධියේ සමාව ගෙන සාවද්‍ය ප්‍රකාශය පිළිගැනීමේ ඉල්ලීමක් ද කර ඇත. එය සිදු නොකරන්නේ නම්, දින 14 ඇතුළත රුපියල් බිලියනයක් හා නෛතික පොලිය, නඩු ගාස්තු සහ අනෙකුත් ආනුශංගික වියදම් ගෙවිය යුතු වනු ඇති බවත්, නැතිනම් නඩු පවරන බවත් එන්තරවාසිය අවධාරණය කරයි.