කොළඹ මහ නගර සභාවේ අයවැය පරාජයට පත්වීමත් සමඟ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ, වත්මන් නගරාධිපතිනියට හෘද සාක්ෂියක් තිබේ නම් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි. ඇය එලෙස ඉවත් නොවන්නේ නම් බහුතර බලය හිමි ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කිරීමට සිදුවනු ඇති බවත්, මේ වන විට ඇය නාමික නගරාධිපතිනියක් බවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර නගර සභා මන්ත්‍රීවරුන් කැඳවා ඔවුන්ට සංග්‍රහ කරමින් අයවැයට පක්ෂව ඡන්දය දෙන ලෙස බලපෑම් කළ බව මුජිබුර් රහුමාන් මහතා චෝදනා කළේය. කෙසේ වෙතත්, පසුගිය මාස හයක කාලය තුළ වත්මන් පාලනය සමඟ ඉදිරියට යා නොහැකි බව වටහා ගත් මන්ත්‍රීවරුන් අයවැය පරාජය කරමින් සිය සැබෑ හෘද සාක්ෂිය ප්‍රකාශ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ජාතික ජන බලවේගයේ පාලනය යටතේ ගතවූ මාස හයක කාලය තුළ කොළඹ නගරයේ කිසිදු යටිතල පහසුකම් සංවර්ධනයක් හෝ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය. පවතින සේවාවන් පවා පෙරට වඩා අක්‍රමවත් වී ඇති බවට චෝදනා කරන ඔහු, නගරාධිපතිවරිය තේරී පත්වූ අවස්ථාවේ රහස් ඡන්දයක් පවත්වා ගැසූ දේශපාලන ගැටය මාස හයක්වත් පවත්වා ගැනීමට පාලක පක්ෂයට නොහැකි වූ බව ද සඳහන් කළේය.
මෙහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ දේශපාලන බලපෑම් කිරීමෙන් හෝ මන්ත්‍රීවරුන් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමෙන් දීර්ඝකාලීන පාලනයක් ගෙන යා නොහැකි බව මෙම පරාජය හරහා තහවුරු වන බවයි. මෙම තත්ත්වය හමුවේ කොළඹ නගර සභාවේ ඉදිරි පාලන කටයුතු සම්බන්ධයෙන් පාලක පාර්ශවය ගන්නා තීරණය පිළිබඳව මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයක් යොමු වී තිබේ