ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමඟ ඇති වූ මතභේදාත්මක සිදුවීමකින් පසුව වැඩ තහනමට ලක්වූ සූරියකන්ද පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා තමාට සිදු වූ අසාධාරණය වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඊයේ (26) දින සිදු කළ මෙම පැමිණිල්ල මඟින් ඔහු ඉල්ලා සිටින්නේ මෙම සිදුවීමේදී තමාට එරෙහිව ක්‍රියාත්මක වූ ක්‍රියාවලිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කරන ලෙසයි.
මෙම සිදුවීමට මුල් වී ඇත්තේ මන්ත්‍රීවරයාට අයත් බව කියන ඉඩමක තිබී ගංජා පැළ දෙකක් හමුවීම සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියකි. එම අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා තමාට පහර දුන් බව පවසමින් මෙම කොස්තාපල්වරයා පසුගිය දෙසැම්බර් 20 වැනිදා රෝහල්ගත වී ප්‍රතිකාර ලබා තිබුණි. කෙසේ වෙතත්, පොලිසිය විසින් පසුව සිදු කරන ලද විමර්ශනයකින් පසුව මන්ත්‍රීවරයා සාපරාධී ලෙස බිය ගැන්වීම ඇතුළු චෝදනා තුනක් යටතේ මෙම කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගත් අතර අධිකරණය විසින් ඔහු පසුව ඇප මත මුදා හරින ලදී.
අධිකරණ ක්‍රියාවලියෙන් පසුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තාවකාලිකව තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. තමා රාජකාරිය ඉටු කිරීමට යාමේදී මෙවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු වීම සහ අනතුරුව රැකියාව පවා අහිමි වීම දැඩි අසාධාරණයක් බව පවසමින් ඔහු මෙලෙස මානව හිමිකම් කොමිසමේ සහය පතා ඇත.