පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් මී උණ (Leptospirosis) වැළඳීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, සෞඛ්‍ය අංශ නොමිලයේ බෙදා හරින මී උණ වැළැක්වීමේ පූර්ව ප්‍රතිකාරය වන ඩොක්සිසයික්ලින් (Doxycycline) මිලිග්‍රෑම් 200ක මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ගංවතුරට සහ ආපදා තත්ත්වයට ලක් වූ ජනතාවට දැනුම් දෙයි.
ගංවතුර තත්ත්වයට මුහුණ දුන් සියලු දෙනා මී උණ වැළඳීමේ අවදානමට ලක්විය හැකි බව විශේෂඥ වෛද්‍ය තුෂානි දඹරේරා මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළාය.
මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් මෙම පූර්ව ප්‍රතිකාරය (Doxycycline) මහජනතාව අතර අවශ්‍යතාව අනුව බෙදා හරිමින් සිටී.
මෙම ප්‍රතිකාරය ඔබට හෝ ඔබේ අසල්වැසියන්ට අවශ්‍ය නම්, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) ඇමතීමෙන් ද ලබා ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.
මී උණ සඳහා ඩොක්සිසයික්ලින් මිලිග්‍රෑම් 200ක මාත්‍රාව ලබාගෙන සිටියද උණ පවතී නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් බව ද ඇය කියා සිටියාය. මෙසේ වගකීමෙන් කටයුතු කිරීමෙන් ගංවතුර ආපදාවෙන් පසු ඇතිවිය හැකි මී උණ රෝගයෙන් ආරක්ෂා වීමට මහජනතාවට හැකි බව වසංගත රෝග අංශය පවසයි.