මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩා කර තිබු වත්තල ප්‍රදේශයේ ගබඩාවකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා තිබේ.
විදේශයක සිට ආනයනය කෙරුණු, මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩාවක ඇති බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශය විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය.
වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ පිහිටි අදාළ ගබඩාව පරික්ෂාවට යන විට එය වසා දමා පැවති අතර, උපාය දූතයෙකු යොදවා ගබඩාව විවෘත කර ගැනීමෙන් අනතුරුව පරීක්ෂා කළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.
එම ගබඩාව තුළ කිලෝග්‍රෑම් 25 බැගින් වූ මළු 30ක් තුළ මිරිස් තොගය ගබඩා කර තිබූ අතර, එහි නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය, බර ආදී අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් කර නොතිබු බව එම අධිකාරිය පවසයි.
එමෙන්ම මෙම වියළි මිරිස් තොගය වෙළෙඳපොළට මුදා හරිමින් පැවති බවට ද පාරිභෝගික අධිකාරිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන අනතුරුව බැඳුම්කරයක් මත මුදාහැරීමට කටයුතු කර තිබේ.