ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් පල්ලෙකැලේ සිට සහල් රැගෙන එමින් තිබූ පෙරහරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ අද උදෑසන දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. පෙරහර නැරඹීමට පැමිණ සිටි ජනතාව සහ මගීන් මෙම හදිසි තත්ත්වය හමුවේ දැඩි භීතියට පත් වූ බව වාර්තා වේ.
මෙම අවාසනාවන්ත සිදුවීමට හේතුවී ඇත්තේ පෙරහරේ ගමන් කරමින් සිටි ඇතුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමකි. ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් තායි රාජා යන ඇතා විසින් තමන් සමඟ ගමන් කරමින් සිටි පුලතිසි රාජා යන ඇතාට පහර දීමට උත්සාහ කිරීමත් සමඟ සතුන් දෙදෙනාම පාලනයෙන් බැහැර වී කුලප්පු වී තිබේ.
ඇතුන් කුලප්පු වීමත් සමඟ පෙරහරේ ගමන් ගත් පිරිස් මෙන්ම මාර්ගයේ ගමන් ගත් වාහන ද දැඩි අනතුරකට මුහුණ දුන් අතර, පසුව වහාම ක්‍රියාත්මක වූ ඇත්ගොව්වන් සහ හස්ති පාලකවරුන් දැඩි පරිශ්‍රමයක් යොදා සතුන් දෙදෙනා පාලනය කිරීමට සමත් විය. වාසනාවකට මෙන් මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් බරපතළ තුවාල හෝ ජීවිත හානි සිදුව ඇති බවට වාර්තා වී නැත.
සතුන් මෙලෙස කුලප්පු වීමට බලපෑ ආසන්නතම හේතුව සහ එම අවස්ථාවේදී සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබූ පියවර පිළිබඳව දළදා මාළිගාවේ ඇත් පන්තිය භාර නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත. පසුව තත්ත්වය සමනය වීමෙන් අනතුරුව පෙරහරේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ.