ශ්‍රී පාද – හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ නායයෑමට ලක්වූ පඩිපෙළ සහ ආරක්ෂිත පැතිබැම්ම යුද හමුදා භටපිරිස් මැදිහත් වී කඩිනමින් ප්‍රතිසංස්කරණය කරමින් සිටින බව වාර්තා වේ. අධික වර්ෂාවත් සමඟ සිදුවූ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් වන්දනාකරුවන්ට පීඩාකාරී වූ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදා නිලධාරීන් මේ වන විට දිවා රාත්‍රී මෙහෙයුමක නිරතව සිටී.
මෙම නායයෑමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වන්දනාකරුවන් විසින් පරිසරයට බැහැර කරන ලද අපද්‍රව්‍ය මත වැඩුණු ආක්‍රමණශීලී ශාක වර්ගයක් බව අනාවරණය වී තිබේ. පැවති දැඩි වර්ෂාවත් සමඟ මෙම ශාක පඳුරු සහ අපද්‍රව්‍ය පහළට කඩාගෙන විත් මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් එම වැටට සහ පඩිපෙළට දැඩි හානි සිදුවී තිබුණි.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණායතනය විසින් එම ස්ථානය පරීක්ෂා කර ලබාදුන් විද්‍යාත්මක නිර්දේශයන්ට අනුකූලව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ. ඉතා දුෂ්කර ප්‍රදේශයක් වුවද වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම මෙහි වැඩකටයුතු නිම කිරීම සඳහා යුද හමුදා භට පිරිස් විශාල වෙහෙසක් දරමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පවසති. මෙම වැඩකටයුතු අවසන් වූ පසු බැතිමතුන්ට කිසිදු අපහසුතාවයකින් තොරව සිරිපා කරුණා කිරීමට අවස්ථාව ලැබෙන බව උන්වහන්සේ වැඩිදුරටත් වදාළහ.