ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී සිය ඉන්දියානු සංචාරය ආරම්භ කරමින් අද (දෙසැම්බර් 13) අලුයම කොල්කටා වෙත පැමිණියේය.
මෙසීගේ පැමිණීම අපේක්ෂාවෙන් ඔහුව දැකබලාගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. එමෙන්ම ඔහු නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිටටද ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් රැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් කොල්කටා නුවර ආරක්ෂාව දැඩි ලෙස තරකර ඇත.
මෙසී මෙලෙස ඉන්දියාවට පැමිණියේ වසර 14කට පසුව වන අතර, ඔහුගේ ඉන්දීය සංචාරය නම් කර ඇත්තේ ‘GOAT India Tour 2025’ ලෙසින්ය. ඉන්දියාවට පැමිණි මෙසී පිළිගැනීමේ උත්සව කිහිපයක්ම සංවිධාන කර ඇති අතර, අඩි 70ක් උසැති ඔහුගේ අනුරුවක්ද නිරාවරණය කර තිබේ.
මෙසී සිය ඉන්දීය සංචාරයේදී කොල්කටා, හයිද්‍රාබාද්, මුම්බායි සහ නවදිල්ලි හිදි විශේෂ උත්සව කිහිපයකට සහභාගීවීමට නියමිතව ඇත. මේ අතර, කොල්කටා නුවර අද පැවැත්වෙන ඔහු පිළිගැනීමේ උත්සවයට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සහ ඉන්දීය ක්‍රිකට් හිටපු නායක සව්රව් ගංගුලිද සහභාගීවීමට නියමිතය.
මෙසීගේ ඉන්දීය සංචාරයේදී ඔහු සමග ඡායාරූපයක් ලබාගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් 100කට අවස්ථාව සලසා දී තිබේ. ඒ සඳහා එක් ක්‍රීඩාලෝලියෙකුගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් අය කෙරෙන අතර, එහි වටිනාකම මෙරට මුදලින් ලක්ෂ 35කට ආසන්නය.