හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ගොනු කරන ලද අපේක්ෂිත ඇප (Anticipatory Bail) පෙත්සම පිළිබඳ විමසීම ලබන ඔක්තෝබර් 08 වැනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර මුදා හරින ලෙස ඉල්ලමිනි.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ අද දින ඇප ඉල්ලීම කැඳවනු ලැබීය. එහිදී, අල්ලස් කොමිසම නියෝජනය කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් පෙත්සමට එරෙහිව ලිඛිත විරෝධතා අධිකරණයට භාර දෙන ලදී.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා, එම විරෝධතාවලට ලිඛිත පිළිතුරු ගොනු කිරීමට කල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව, ලබන අඟහරුවාදා (ඔක්තෝබර් 07) දිනට එම පිළිතුරු ගොනු කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළ අතර, පෙත්සම විමසීම ලබන ඔක්තෝබර් 08 වැනිදාට කල් තැබිණි.