නිළි මාධවී වත්සලා ඇන්තනී මහත්මිය විසින් සිය ෆේස්බුක් පිටුවේ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තමාට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ඉල්ලමින් සන්ජය බණ්ඩාර නමැති අය ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා තිබේ.
2025 ඔක්තෝම්බර් 06 වෙනිදා මාධවී වත්සලා ඇන්තනී විසින් සිය ෆේස්බුක් ගිණුම භාවිතා කරමින්, සන්ජය බණ්ඩාර යනු අමානුෂික දේශපාලන අන්තවාදියෙක් හා ළමා අපයෝජකයකු බවත්, ඒ පදනමින් ඔහුගේ ෆේස්බුක් ගිණුම වාර්තාකරන (report) ලෙසත් දන්වමින් ඔහුගේ ගිණුමේ ඡායාරූපයක් සහිතව ප්‍රකාශයක් පළ කර ඇත.
එම පදනම් විරහිත, අසත්‍ය, නොමඟයවනසුළු සහ අපහාසාත්මක ප්‍රකාශය හේතුකොටගෙන සන්ජය බණ්ඩාර සහ ඔහුගේ පවුලේ අය දැඩි මානසික පීඩාව සහ කම්පනයකට මුහුණ දුන් බවත්, එමගින් ඔහුගේ කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක මුදලක් දින 7 ක් තුල ගෙවීමට කටයුතු කරන ලෙසත් එන්තරවාසිය මගින් දන්වා ඇත. එසේ නොකළහොත් නඩු පවරා එකී මුදල නඩු ගාස්තු ද සහිතව අයකරගැනීමට කටයුතු කරන බවද එමගින් දැනුම් දී තිබේ.