නෙළුම් කුලුන කළමනාකරණ සමාගමේ (Colombo Lotus Tower Management Company) ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව එහි සභාපති ශිරන්ත පීරිස් මහතා පවසයි.
මෙම වසරේ අගෝස්තු 31 වනදා වන විට නෙළුම් කුලුනේ බදු පෙර ලාභය රුපියල් මිලියන 539.93ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය පෙර වසරේ එම කාලයේ පැවැති රුපියල් මිලියන 194.43ක ලාභයට සාපේක්ෂව සියයට 192ක විශාල වර්ධනයකි.
සභාපතිවරයා අවධාරණය කළේ, කුලුන ඉදිකිරීමට වැය වූ මහජන මුදල් නැවත ජනතාවට උපයා දීම තම ප්‍රධාන අරමුණ බවයි. තවද, කුලුනේ සෑම බිම් අඟලක්ම ආදායම් උත්පාදනය සඳහා යොදවන බවත්, තමා මේ සඳහා වැටුප් නොගෙන සේවයක් ලෙස කටයුතු කරන බවත් ඔහු පැවසීය.
2024 ඔක්තෝබර් 7 වැනිදා සිදු වූ සිදුවීමෙන් පසු, කුලුනේ ආරක්ෂක ප්‍රමිතීන් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. මේ යටතේ නැරඹුම් මණ්ඩපයේ ආරක්ෂාව සඳහා යකඩ ආවරණයක් යොදා ඇති අතර, ආරක්ෂක නිලධාරීන් සහ CCTV නිරීක්ෂණ වැඩි කර ඇත.
තවදුරටත්, සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී. නුදුරේදීම හඳුන්වා දීමට නියමිත ඔන්ලයින් ටිකට්පත් මිලදී ගැනීමේ ක්‍රමවේදය මගින් ජනතාවගේ තදබදය අවම කරගත හැකි බව සභාපතිවරයා සඳහන් කළේය. ඩිජිටල් කාර් නැවැත්වීමේ පහසුකම් සහ වඩාත් විධිමත් වෙබ් අඩවියක් ද ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය.
නෙළුම් කුලුනේ ආදායම ඉහළ නැංවීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් සැලසුම් කර ඇත:
“Lotus Aquarium Café” නමින් අවන්හලක්.
“බංගි ජම්පින්” වැනි ත්‍රාසජනක ක්‍රීඩා මධ්‍යස්ථානයක්.
28 වන මහලේ සුඛෝපභෝගී නවාතැන් පහසුකම්.
වර්ග අඩි 42,000ක ගබඩා ව්‍යාපෘතියක්.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චමරු ද අල්විස් පැවැසුවේ, නෙළුම් කුලුනේ වාර්ෂික ආදායම රුපියල් මිලියන දාහක් (1,000) දක්වා ඉහළ නැංවීම සිය අපේක්ෂාව බවයි. සේවකයන්ගේ උනන්දුව සහ කැපවීම මෙම ප්‍රගතියට ප්‍රධාන හේතුවක් වූ බවද ඔහු සඳහන් කළේය.