ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් පවත්වාගෙන යනු ලබන වැඩසටහන් යටතේ මියයෑමෙන් පසු සිය දෑස් දන්දීම සඳහා පුද්ගලයන් විසි දෙලක්ෂ අසූහත්දහසක (2,287,000) පමණ දැවැන්ත පිරිසක් මේ වන විට පොරොන්දු පත්‍ර ලබා දී තිබේ.
එම සංගමයේ සභාපති අයෝධ්‍යා සම්පත් ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ පසුගිය 2025 වසරේදී පමණක් පුද්ගලයන් ලක්ෂ දෙකකට අධික පිරිසක් අලුතින් මෙම උදාර සත්කාර්යය සඳහා ලියාපදිංචි වී ඇති බවයි. වර්තමානය වන විට ද මසකට සාමාන්‍යයෙන් 300කට ආසන්න පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිය දෑස් දන්දීම වෙනුවෙන් පොරොන්දු පත්‍ර ලබා දෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
වසර හැට හතරක ප්‍රශස්ත ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, මෙරට මියගිය පුද්ගලයන්ගෙන් ලබාගත් අක්ෂි කුනීත ලක්ෂයක් මේ වන විට විදේශීය රටවල පෙනීම අහිමි වූවන් වෙත බද්ධ කිරීම සඳහා ලබා දී තිබේ. මෙලෙස අක්ෂි කුනීත ලක්ෂයක් බෙදා හරිමින් ලෝකයටම ආලෝකයක් ලබා දීම නිමිත්තෙන් විශේෂ ජාතික උත්සවයක් ලබන 30 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ජනාධිපතිවරයා, අගමැතිවරිය, මැති ඇමැතිවරුන් මෙන්ම විදේශීය දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බව ද අක්ෂිදාන සංගමයේ සභාපතිවරයා පැවසීය.