පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ වැදගත් පනත් කෙටුම්පත් තුනක් සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ. කථානායකවරයා මේ බව අද පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළ අතර ඒ අනුව මෙම පනත් කෙටුම්පත් ඊයේ සිට බලාත්මක වනු ඇත.
මෙලෙස කථානායක සහතිකය හිමි වූයේ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සංශෝධන පනත් කෙටුම්පත යන පනත් තුන සඳහායි. මෙම පනත් කෙටුම්පත් පසුගිය දෙසැම්බර් මස 05 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගන්නා ලදී.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත මඟින් 2022 අංක 25 දරන මූලික පනත සංශෝධනය කිරීම අරමුණු කර ඇති අතර එය පසුගිය ඔක්තෝබර් මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. මෙරට බදු ආදායම් කළමනාකරණය විධිමත් කිරීම සඳහා මෙම සංශෝධනය ගෙන එන ලදී.
විශේෂයෙන්ම ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත මඟින් ක්ෂේත්රයේ බදු ප්‍රතිශතයන්හි සැලකිය යුතු වෙනසක් සිදු කර තිබේ. ඒ අනුව 2025 ඔක්තෝබර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි බුකිකරුවන්ගේ සහ සූදු ව්‍යාපාරිකයන්ගේ දළ එකතුව මත අය කරන බද්ද සියයට දහඅට දක්වා ඉහළ නංවා ඇත. මීට අමතරව ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා කැසිනෝ ප්‍රවේශ බද්ද ඇමරිකානු ඩොලර් සියයක් දක්වා වැඩි කිරීමට ද මෙම පනත මඟින් නීතිමය ප්‍රතිපාදන සලසා තිබේ.