ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී රුපියල් කෝටි ගණනක අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සමාගමේ හිටපු විධායක අධ්යක්ෂ කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) ප්‍රතික්ෂේප කළේය. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මෙහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ප්‍රකාශ කළේ සැකකරුට ඇප ලබා දීම සඳහා පවතින නීතිමය රාමුව තුළ කිසිදු සුවිශේෂී කරුණක් අනාවරණය වී නොමැති බවයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව, සැකකාර කපිල චන්ද්‍රසේන මහතා එළඹෙන අප්‍රේල් මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.