බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ හම්බන්තොට සහ කල්මුණේ ප්‍රදේශවලින් දිවයිනට ඇතුළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මේ බව අනාවරණය කළේය.
දැනට පවතින නිරීක්ෂණ අනුව මෙම පීඩන අවපාතය නැගෙනහිර වෙරළේ පොතුවිල් ප්‍රදේශයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 350ක් පමණ දුරින් මුහුදේ ස්ථානගත වී පවතී. එය හෙට දිනයේදී ගොඩබිමට ඇතුළු වීමත් සමඟ දිවයින පුරා පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පවතින දැඩි අවදානම් තත්ත්වය සලකා බලා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැඩිව අවධාරණය කර සිටියි. එමෙන්ම, ගොඩබිම පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි හදිසි ගංවතුර හෝ නායයෑම් පිළිබඳව ද මහජනතාව අවධානයෙන් පසුවිය යුතුය.