ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිලමේවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන නිලවරණය මෙම දෙසැම්බර් මස 05 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ධුර කාලය පසුගිය සැප්තැම්බර් 22 වැනි දිනෙන් අවසන් වූ අතර, දැනට දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ වන තිළිණ මධුසංඛ මහතා වැඩබලන බස්නායක නිලමේ ලෙස පත් කර ඇත.
නව බස්නායක නිලමේවරයා තෝරාගනු ලබන්නේ සීමිත ඡන්ද 17කින් යුත් ඡන්ද විමසීමකිනි. ඊට දේවාලයට අදාළ ප්‍රධාන විහාරස්ථාන 4ක භාරකරුවන්, වැඩබලන බස්නායක නිලමේවරයා, බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනාගේ ඡන්ද ඇතුළත් වේ.
මෙවර නිලවරණය සඳහා දැනටමත් අපේක්ෂකයන් සිව්දෙනෙකු පමණ විහාරස්ථාන වෙත පැමිණ ඇති බව කිරිවෙහෙර විහාරාධිපති හිමිනමක් සඳහන් කර තිබේ. ඔවුන් අතර රුසියාවේ හිටපු තානාපතිවරයකු, රන් භාණ්ඩ ව්‍යාපාරිකයකුගේ ඥාතියකු සහ ඌව පළාතේ ව්‍යාපාරිකයකු සිටින බව වාර්තා වේ.
නව බස්නායක නිලමේවරයා තෝරා පත් කර ගැනීමෙන් පසු ඓතිහාසික කතරගම දේවාලයේ පාලන කටයුතු භාර ගැනීමට නියමිතය.