විශේෂ මෙහෙයුමක් හේතුවෙන් සේවාවන් අඩාල වෙයි
වාහනයක බෝම්බයක් ඇති බවට ලැබුණු ඊමේල් පණිවිඩයක් නිසා ප්‍රධාන දොරටු වසා දැමේ
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ නවතා ඇති වාහනයකට බෝම්බයක් සවිකර ඇති බවට එල්ල වූ තර්ජනයක් හේතුවෙන්, අද (26) පෙරවරුවේ බෝම්බ නිශ්ක්‍රීය අංශය ඇතුළු ආරක්ෂක අංශ විසින් එම පරිශ්‍රය දැඩි සෝදිසි කිරීමකට ලක් කරන ලදී.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනය (Email) වෙත ලැබුණු පණිවිඩයකින් කියැවුණේ, කාර්යාල පරිශ්‍රය තුළ නවතා ඇති වාහනයක බෝම්බයක් අටවා ඇති බවත් එය පුපුරුවා හරින බවත්ය. දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වහාම මේ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ආරක්ෂක මෙහෙයුම් ආරම්භ විය.
අද පෙරවරු 10.00 ට පමණ පොලිස් නිල සුනඛයන් ද යොදා ගනිමින් සෝදිසි කිරීම් ආරම්භ විය.
බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණීමත් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව වසා දැමුණු අතර, කිසිදු අයෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට අවසර ලබා නොදීමට පියවර ගැනුණි.
වාහනවලින් පැමිණි නිලධාරීන්ට සහ කාර්ය මණ්ඩලයට සිය රාජකාරි අතරමග නතර කර තම වාහන අසලම රැඳී සිටින ලෙස උපදෙස් දෙන ලදී. ඉන් අනතුරුව සෑම වාහනයක්ම දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි.
මෙම හදිසි ආරක්ෂක පියවර හේතුවෙන් විවිධ සේවාවන් ලබා ගැනීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටි විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් වූහ. පැය කිහිපයක් යනතුරු ඔවුන්ට එම පරිශ්‍රයෙන් පිටවීමට පවා අවසර නොලැබුණු බැවින් කාර්යාලීය කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබිණි.
පොලීසිය සඳහන් කළේ අදාළ ඊමේල් පණිවිඩය එවූ පාර්ශවය පිළිබඳව තාක්ෂණික විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.