ඝාතනයට ලක් වූ ‘කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් ප්රකට විධානගමගේ අරුණ ප්රියන්ත කුමාරගේ වැඩිමල් පුත්රයා වන දහසය හැවිරිදි තරුණයා ඊයේ (ඔක්තෝබර් 13) දින කොළඹ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ භාරයට පත් විය.
මෙම ක්රියාවලිය ආරම්භ වී ඇත්තේ, දරුවාගේ මව (මියගිය කජ්ජාගේ බිරිඳ) විසින් තම දරුවා අනාරක්ෂිත තත්ත්වයක පසුවන බවට එම කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් පදනම් කරගනිමිනි.
මවගේ පැමිණිල්ලට අනුව විමර්ශනයක් දියත් කර තිබූ අතර, ඒ අනුව කොළඹ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස දරුවාට දැනුම් දී තිබුණි. ඒ අනුව ඔහු ඊයේ දින සිය සීයා සමඟ එම කාර්යාංශයට පැමිණියේය.
එහිදී දරුවාගෙන් ප්රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු, කාර්යාංශය විසින් ඔහුව භාරයට ගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා, දරුවා ඉදිරියේදී නුගේගොඩ ළමා මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
මෙම විමර්ශනය පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.