ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඓතිහාසික රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රතු බලකොටුව අසල මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසල ඊයේ (නොවැම්බර් 10) පස්වරු 06.52ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අටවා තිබූ මෝටර් රථයක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති අතර, පිපිරීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය (NIA) සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර ඇත.
මෙම පිපිරීමත් සමග මුම්බායි, කොල්කටා, බැංගලෝර්, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද් සහ උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත කිහිපයක ආරක්ෂාව තර කර තිබේ. එසේම, ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සැලවූ සැනින් තමන් මහත්සේ කම්පනයට පත්වූ බවය. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පිපිරීම සිදුවූ ස්ථානයට පැමිණ ඒ පිළිබඳ සොයා බලා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
නවදිල්ලි අගනුවර පිහිටා ඇති රතු බලකොටුව, දිනපතා ලක්ෂ 4ත් 6ත් අතර පිරිසක් නැරඹීමට පැමිණෙන ජනාකීර්ණ සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක් ලෙස සැලකේ.
මේ අතර, නවදිල්ලි අගනුවර සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි හර්යානාහි ෆරීදාබාද් ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900ක් පසුගිය 9 වන දින සොයාගෙන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.