දිට්වා සුළි කුණාටුවෙන් පසු පවතින අවදානම් තත්ත්වය සලකා බලා, හැටන් දික්ඔය නගර සභා සීමාව තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ හෝ නගර සභාවේ නිසි නිර්දේශ නොමැතිව සිදුකරන සියලුම ඉදිකිරීම් වහාම නතර කිරීමට පියවර ගෙන තිබේ. හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
නගර සභා සීමාව තුළ ඇතැම් පිරිස් නිසි අනුමැතියකින් තොරව ඉදිකිරීම් සිදුකරන බවත්, තවත් පිරිසක් අනුමත සැලසුම්වලට පටහැනිව කටයුතු කරන බවත් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඇතැම් අවස්ථාවලදී නගර සභාවේම නිලධාරීන්ගේ සහයෝගය මත මෙවැනි අක්‍රමවත් ඉදිකිරීම් සිදුවන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, එවැනි සියලු කටයුතු නතර කිරීමට නගර සභාව දැඩි තීරණයක් ගෙන තිබේ.
ඉදිකිරීම් සීමා කිරීමට අමතරව, නගර සභා සීමාව තුළ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කර ඇත. නගරයේ පිරිසිදුකමට සහ ජලාපවහන පද්ධතියට බාධා වන අයුරින් කසළ බැහැර කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද සභාපතිවරයා අවධාරණය කළේය.
නායයෑම් සහ නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කර ඇති ස්ථානවල මෙවැනි අනවසර ඉදිකිරීම් සිදුකිරීම මහජන ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව බලධාරීහු පවසති. එබැවින් ඉදිරියේදී සිදුවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහා නගර සභාව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දෙන උපදෙස් ඒ අයුරින්ම පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.