බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට, පසුගිය වසරේ සිසුන්ගේ නායකත්වයෙන් ඇතිවූ විරෝධතා මැඩපැවැත්වීමේදී සිදුකළ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඩකා අධිකරණයක් මගින් අනතුරුවරයෙන් (in abstentia) මරණ දඬුවම නියම කර තිබෙනවා.
රටේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ විනිසුරු මඬුල්ලක් විසින් හසීනා ඝාතනය, සමූලඝාතනය, වධහිංසා පැමිණවීම සහ වෙනත් අමානුෂික ක්‍රියා ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වැරදිකරු බවට පත් කළා.
විනිසුරු ගෝලම් මෝර්ටුසා මොසුම්දර් පැවසුවේ “චෝදනා ලැබූ අගමැතිවරිය ඩ්‍රෝන යානා, හෙලිකොප්ටර් සහ මාරක අවි භාවිතා කිරීමට නියෝග කිරීමෙන් මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කළ” බවයි.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රටින් පලා ගිය හසීනා අසල්වැසි ඉන්දියාවේ රැකවරණය යටතේ පිටුවහල්ව සිටින අතර, ඇයව භාර දෙන ලෙස කළ ඉල්ලීම් ඉන්දීය රජය නොසලකා හැර තිබෙනවා.
හසීනාගේ සම විත්තිකරු වූ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සාමාන් ඛාන්ටද මරණ දඬුවම නියම කෙරුණා.
මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ හසීනා, විනිශ්චය සභාව “දේශපාලනික පළිගැනීමේ නාට්‍යයක්” බවට චෝදනා කළා. තීන්දුවට පෙර හඬ පණිවිඩයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ, “ඔවුන්ට අවශ්‍ය ඕනෑම තීන්දුවක් ප්‍රකාශ කරන්න දෙන්න. එය මට වැදගත් නැහැ. අල්ලාහ් මට මේ ජීවිතය දුන්නා, එය අවසන් කළ හැක්කේ ඔහුට පමණයි. මම තවමත් මගේ ජනතාවට සේවය කරනවා,” කියායි.
තීන්දුවට පෙර ඩකා නගරය දැඩි ආතතියෙන් යුක්ත වූ අතර, නගරය පුරා ආරක්ෂාව තර කර තිබුණා. පොලිසිය, හමුදාව සහ පැරාමිලිටරි භටයන් විසින් අධිකරණ ප්‍රදේශය වට කර තිබූ අතර, බෝම්බ දමන හෝ වාහනවලට ගිනි තබන ඕනෑම අයෙකුට “දුටු තැන වෙඩි තැබීමේ” නියෝගයක්ද නිකුත් කර තිබුණා.
හසීනාගේ පාලනය පෙරළා දැමූ මෙම විරෝධතාව සිසුන්ගේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වී, පසුව රටපුරා නැගිටීමක් දක්වා වර්ධනය වූ අතර, එය දැන් “ජූලි විප්ලවය” ලෙස හැඳින්වෙනවා. හසීනාගේ වසර 15ක පාලන කාලය බොහෝ දෙනා විසින් අත්තනෝමතික, දූෂණ සහ වධහිංසා පැමිණවීම්වලින් පිරුණු “භීෂණ සමයක්” ලෙස සලකනු ලබනවා.
නොබෙල් ත්‍යාගලාභී මොහොමඩ් යුනුස්ගේ නායකත්වයෙන් යුත් අතුරු ආණ්ඩුව, හසීනාට නඩු පැවරීම ඔවුන්ගේ ප්‍රධාන පොරොන්දුවක් ලෙස සලකා කටයුතු කළා.