අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ධූරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද අලුයම (ඔක්තෝබර් 16) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියාය.
නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය ඇතුළු ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවල අරමුණ වන්නේ දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි.
තවද, අග්‍රාමාත්‍යවරිය 2025 NDTV ගෝලීය සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී ඇය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත. මෙම සමුළුව හරහා ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ චින්තන නායකයින් ජාත්‍යන්තර අභියෝග සහ නැගී එන අවස්ථා පිළිබඳව සාකච්ඡා කරනු ඇත.
අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපනය, නවෝත්පාදනය සහ තාක්‍ෂණය පිළිබඳ සහයෝගීතාව සඳහා අවස්ථා පුළුල් කර ගැනීම අරමුණු කර ගනිමින් දිල්ලියේ පිහිටි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog සංවර්ධන සහ පර්යේෂණ ආයතනය නැරඹීමට ද එක් වීමට නියමිතය.
දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අග්‍රාමාත්‍යවරිය, ඇය ඉගෙනුම ලැබූ හින්දු විද්‍යාලය ද නැරඹීමට එක් වනු ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වාණිජ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කරමින් ව්‍යාපාරික වැඩසටහනකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමට අපේක්ෂා කෙරේ.
මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වයේ වැදගත්කම සහ දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උදෙසා සහයෝගීතාව ශක්තිමත් කිරීම තහවුරු කරයි.