ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව වන ගොව්පේ පද්ධතිය, 2025 වසර නිමාවීමට පෙර රුපියල් බිලියන 2ක සමස්ත ගනුදෙනු වටිනාකම ඉක්මවා යමින් වාර්තාගත ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ දෙවන රුපියල් බිලියනයක වටිනාකම දින 45ක් වැනි ඉතා කෙටි කාලසීමාවක් තුළදී වාර්තා වීමයි. මෙය මෙරට ජනතාව රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේදී ඩිජිටල් ක්‍රමවේදයන් කෙරෙහි දක්වන විශ්වාසය තහවුරු කරන්නකි.
පසුගිය පෙබරවාරි 07 වනදා ආරම්භ කළ දා සිට මේ දක්වා ගොව්පේ හරහා ඩිජිටල් ගනුදෙනු 69,000කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති අතර, රජයේ ආයතන 215කට අයත් සේවාවන් 3,372ක් සඳහා මේ වන විට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කළ හැකිය. විශේෂයෙන්ම අප්‍රේල් මාසයේදී හඳුන්වා දුන් රථවාහන දඩ මුදල් ගෙවීමේ මාර්ගගත සේවාව ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර, ඒ හරහා පමණක් රුපියල් මිලියන 66කට වැඩි ආදායමක් රජයට ලැබී තිබේ. දැනට පළාත් කිහිපයකට සීමා වී ඇති මෙම දඩ ගෙවීමේ සේවාව ලබන ජනවාරි මාසයේ සිට මුළු දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පිහිටුවූ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ ආපදා සහන අරමුදල සඳහා රුපියල් මිලියන 14කට ආසන්න මුදලක් රැස් කිරීමට ද මෙම ඩිජිටල් වේදිකාව මනා දායකත්වයක් සපයා තිබේ. 2026 වසර වන විට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කිරීම රජයේ මීළඟ ඉලක්කයයි. මෙම වසරේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා පොලීසිය සහ මොරටුව විශ්වවිද්‍යාලය වැනි ආයතන මෙම පද්ධතිය සාර්ථකව භාවිත කරමින් වැඩිම දායකත්වයක් ලබාදුන් ආයතන බවට පත්ව ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ලංකාපේ ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය, මෙරට ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස සැලකේ. රජයේ අපේක්ෂාව වන්නේ 2030 වසර වන විට ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක වටිනාකමකින් යුතු ඩිජිටල් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කිරීමයි.