සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් 2025 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද ප්‍රසාද දීමනා ප්‍රමාණවත් නොවන බව පවසමින් ගුවන්තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) දහවල් දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය. තමන්ට හිමිවිය යුතු ප්‍රසාද දීමනාව ලෙස මූලික වැටුප් පහක ප්‍රමාණයක් ලබා දෙන ලෙස බල කරමින් සේවකයෝ මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
මෙම විරෝධතාව සඳහා ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදුජන සේවක සංගමය, ප්‍රගතිශීලි සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයට අනුබද්ධ වෘත්තීය සමිති නියෝජනය කරමින් සේවක සේවිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ. ගුවන්තොටුපොළ පරිශ්‍රය ඉදිරිපිටදී පැවති මෙම උද්ඝෝෂණයේදී සේවකයින් පෙන්වා දුන්නේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ තමන්ට ලබා දී ඇති දීමනාව සාධාරණ නොවන බවයි.
විරෝධතාවය අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් මහතා සඳහන් කළේ, ගුවන්තොටුපොළ සමාගම මෙවර රුපියල් බිලියන 21ක වාර්ෂික ශුද්ධ ලාභයක් උපයා ඇති බවයි. එවැනි විශාල ලාභයක් ලබන පසුබිමක සේවකයින් හට ප්‍රසාද දීමනා ලෙස මූලික වැටුප් දෙකක ප්‍රමාණයක් පමණක් ලබා දීම කිසිසේත්ම පිළිගත නොහැකි බව ඔහු අවධාරණය කළේය.
වෘත්තීය සමිති නියෝජිතයින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මූලික වැටුප් පහක ඉල්ලීම සලකා බලා, අවම වශයෙන් තවත් මූලික වැටුප් දෙකක ප්‍රමාණයක් හෝ අතිරේකව ලබා දීමට පාලනාධිකාරිය කටයුතු කළ යුතු බවයි. මෙම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග කරා අවතීර්ණ වන බවට ද සේවකයෝ අනතුරු අඟවා සිටිති.