රුපියල් මිලියන 210කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සඟවා ගෙන යාමට උත්සාහ කළ කටුනායක ගුවන්තොටුපොළේ ප්රධාන ආරක්ෂක නිලධාරියෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
54 හැවිරිදි සැකකරු මීගමුව කඳවල පදිංචිව සිටින අයෙකු වන අතර, ඔහු සිවිල් ගුවන් ආරක්ෂක සේවා සංවිධානයේ සභාපතිවරයාද වෙයි.
ඔහු කැරට් 24 රන් බිස්කට් 51ක් (කිලෝ 5.941) පාදවල සඟවා, විශේෂ වෙළුම්පටි ඔතා ගුවන් තොටුපොළේ විශේෂ පිටවීමේ මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී, අද උදෑසන 6.50ට රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තේය.
රන් බිස්කට් මෙම තොගය වෙනත් පුද්ගලයකු විසින් ඔහුට භාර දී ඇති බවත්, සැකකරු දීර්ඝ කාලයක් මෙවන් ජාවාරම් සිදුකර ඇති බවත් රේගු නිලධාරීන් සොයන බව පැවසේ.
සැකකරු රේගු අධිකාරිය සතුව තබාගෙන මේ වනවිට වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවද වාර්තා වේ.