පාතාල කණ්ඩායම් විසින් තමන් වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින බව පවසමින්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු තම ආරක්ෂාවට ලබා දෙන ලෙස ඉල්ලා ඇත.
බුද්ධි අංශ නිලධාරීන් ද රාජගිරියේ පිහිටි උන්වහන්සේගේ විහාරස්ථානයට පැමිණ මෙම මරණ තර්ජනය ගැන දැනුම් දී තිබෙන බව ද උන්වහන්සේ ලිපියේ සඳහන් කර ඇත.
ඥානසාර හිමියන් සිය ලිපියේ දක්වා ඇත්තේ, දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැන නැග ඇති “ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව” තමන් විවිධ හෙළිදරව් කිරීම් සිදුකළ බවයි.
තවදුරටත් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ, සති කීපයකට පෙර නැගෙනහිර පළාතේ එරාවුර් ප්‍රදේශයේදී සිකුරාදා ජුම්මා දේශනාවට පැමිණි සියලු දෙනාට අත්පත්‍රිකා විශාල ප්‍රමාණයක් බෙදා දී ඇති බවය. එහි “කාසිම් නමැති තරුණයා හා ඥානසාර තෙර යන දෙදෙනා හා ඔවුන් පිටුපස සිටින අනෙක් අය ගැනත් සොයා බලා ෂරියා නීතියට අනුව ගල් ගසා මරා දැමිය යුතුයි” යනුවෙන් දක්වා තිබී ඇති බවත්, ‘ලිබියා ගඩාෆි’ නම් කණ්ඩායමක් වට්ස්ඇප් හරහා ද මෙම පණිවිඩය මුදාහැර ඇති බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
“2013 වසරේ සිට ඉස්ලාම් අන්තවාදීන් සිදු කිරීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට මා ඇතුළු සංවිධානයට හැකි විය. එවන් සුවිසල් කැප කිරීමක් සිදු කළ මා අත්‍යන්ත අන්තරායකර අවදානමකට ලක්ව සිටින්නෙමි. සුදුසු ආරක්ෂාවක් ඉල්ලුව ද තවමත් එය ලැබී නැත,” යි උන්වහන්සේ ලිපියේ දක්වා ඇත.
මීට පෙර ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී තිබූ අතර, තමන් කැමැත්තෙන් ම ඔවුන් නැවත අදාළ ආයතනයට යොමු කළ බව ද, වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට සහ පොලිස්පතිවරයාට ද මේ බව දැනුම් දුන් බව ද උන්වහන්සේ සඳහන් කර ඇත. “සුදුසු යැයි (පෙර මෙන්) හැඟෙන පරිදි ඇමැති ආරක්ෂාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් ද උන්වහන්සේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.