හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයාට දොස් පවසන අය අත්අඩංගුවට ගන්නා ලෙස මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පොලීසියට උපදෙස් දීම සම්බන්ධයෙන්, පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා දැඩි විවේචනයක් එල්ල කළේය.
පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා, වටගල අමාත්‍යවරයාට අභියෝග කරමින් කියා සිටියේ, පුළුවන් නම් තමන්ව අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙසයි.
වටගල මහතා නමට පමණක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් තම බලතල නිල වශයෙන් ගැසට් පත්‍රයකින් ඔහුට පවරා නොමැති බැවින්, ඔහුට පොලීසියට නියෝග දීමට කිසිදු නීතිමය බලයක් නොමැත.
ජනාධිපතිවරයාගේ නොසැලකිල්ල නිසා ආපදාව සිදු වූ බවට ජනතාව චෝදනා කරන්නේ සත්‍ය කරුණු මත පදනම්වය. සත්‍යයක් කීම අපහාසයක් නොවන අතර, බොරු කිව්වොත් පමණක් අපහාසයක් සිදුවේ.
තමන් මේ පිළිබඳව කරුණු 14ක් ඉදිරිපත් කර ඇති බවත්, “පුළුවන් නම් මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න” කියා වටගල මහතාට අභියෝග කරන බවත් ගම්මන්පිල මහතා පැවසීය.
2002 වසරෙන් පසු ලංකාවේ සාපරාධී අපහාස නීතිය (Criminal Defamation Law) අහෝසි කර ඇති බැවින්, අපහාසයක් සිදු කළත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකිය. දැන් කළ හැක්කේ සිවිල් නඩුවක් පවරා වන්දි ලබා ගැනීම පමණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “රජ වූයේ නැති” බැවින්, වික්ටෝරියා රැජිනගේ කාලයේ තිබූ “රජතුමාට අපහාස කිරීම” යටතේ දඬුවම් දීමට නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
හදිසි නීතිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැත.
ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තියෙන් තහවුරු කර ඇති බැවින්, ජනාධිපතිවරයාගේ අකර්මන්‍ය බව විවේචනය කිරීමේ අයිතිය හදිසි නීතිය යටතේ උදුරා ගැනීමට වටගල අමාත්‍යවරයාට නොහැකි බව ඔහු අවධාරණය කළේය.
ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේ, මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා විපත සිදු වූ බවට කරුණු ජනගත කරන මාධ්‍ය බියපත් කිරීමේ අදහසින් බවයි.