මහනුවර, ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයේ දේවාලයක් අසල තිබී සොයාගත්, නිල් පැහැති මැණික් ගලකට සමාන පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය නිල වශයෙන් දැනුම් දී තිබේ. එම අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, අදාළ ස්ථානයේ පිහිටි කළුගල තුළ “Labradorite” නම් ඛනිජය කුඩා ප්‍රමාණයක් තැන්පත් වී ඇති බව විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බවයි.
මීට දින කිහිපයකට පෙර ගලහා දෙල්තොටවත්ත කල්ලන්තැන ශ්‍රී මුතුමාරි අම්මන් දේවාලය අසල පිහිටි කළුගලක නිල් පැහැති මැණික් ගලක් සේ දිස්වෙන පාෂාණයක් ඇති බවට තොරතුරු වාර්තා විය. ඒ පිළිබඳව සමාජයේ දැඩි අවධානයක් යොමුවීමත් සමඟ, එම පාෂාණය පරීක්ෂා කිරීම සඳහා ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබුණි. එහිදී ඔවුන් අදාළ පාෂාණයෙන් සාම්පල කැබලි තුනක් ලබාගෙන පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබේ.
අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව, මෙම “Labradorite” ඛනිජය ලෝකයේ අර්ධ වශයෙන් වටිනාකමක් උසුලන මැණික් පාෂාණයක් ලෙස වර්ගීකරණය කර ඇතත්, මෙම පර්වතය ආශ්‍රිතව ඇති පාෂාණ සඳහා ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බව අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරයි. මේ අනුව, එම ස්ථානයෙන් හමුවූ පාෂාණය ආර්ථිකමය වශයෙන් විශාල වටිනාකමක් සහිත සොයාගැනීමක් නොවන බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය නිකුත් කළ වාර්තාව මගින් නිල වශයෙන් තහවුරු කර ඇත.
