2025/2026 මහ කන්නයේ වගා කටයුතු සඳහා පොහොර මූල්‍ය සහනාධාරය ලබාදීම පිණිස රුපියල් බිලියන 05ක අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මෙම අතිරේක මුදල් වෙන් කිරීමට හේතු වී ඇත්තේ, 2025/26 මහ කන්නයේදී වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති වී සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝගවල සමස්ත බිම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී, පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ගෙවීම පිණිස දැනට වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවීමයි. ඒ අනුව, තවත් රුපියල් බිලියන 05ක පමණ අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශය මත පදනම්ව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් විය. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
මෙමඟින් ගොවීන්ට අවශ්‍ය වන පොහොර සහනාධාරය අඛණ්ඩව ලබාදීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.