ලොව උසම කන්ද ලෙසින් පිළිගැනෙන අඩි 8,848ක් උසැති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ෂර්පා ඊයේ (ඔක්තෝබර් 16) අභාවප්‍රාප්ත වී තිබේ.
පසුගිය දින කිහිපයේදී රෝගාතුරව සිටි ඔහු කත්මණ්ඩු නුවරදී සිය දිවිසැරිය නිමා කරන විට වයස අවුරුදු 92ක් විය.
එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම 1953 වසරේදී ලොව පළමුවරට එවරස්ට් කඳු මුදුන සාර්ථකව තරණය කරනු ලැබීය. ඒ වන විට කාංචා ෂර්පාට වයස අවුරුදු 19ක් වූ අතර, ඔහු කඳු නැගීමේ අත්දැකීම් නොතිබුණද සති දෙකකට වඩා වැඩි කාලයක් පැවති මෙම දුෂ්කර ගමනට සහායයෙකු ලෙස එක්ව ඇත.
එතැන් සිට දශක දෙකකට වැඩි කාලයක් ඔහු එවරස්ට් තරණය කරන්නන් වෙනුවෙන් සහාය දක්වා තිබේ. කාංචා ෂර්පා නේපාල කඳු මාර්ගෝපදේශකයින්ගේ පුරාවෘත්තයක් මෙන්ම ආශ්වාදයක් ලෙස ගෞරවනීය පිළිගැනීමක් තිබූ අයෙකි.