එන්ඩොස්කොපික් යුස්ටේෂියානු නාල ශල්‍යකර්මය (endoscopic Eustachian tube surgery) ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඊයේ (ඔක්තෝබර් 21) මීගමුව මහා රෝහලේදී සිදු කර තිබේ. මෙම විශේෂ ශල්‍යකර්මය සිදු කර ඇත්තේ කන්, නාසය, ගෙල ශල්‍ය වෛද්‍ය විද්‍යා නිධි ආචාර්ය රිස්නි සක්කාෆ් මහතා ප්රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.
යුස්ටේෂියානු නාලයේ ඇතිවන අවහිරතා හේතුවෙන් මධ්‍ය කර්ණයේ ගැටලු ඇතිවිය හැකි බවත්, එමඟින් එහි තරල එක්රැස් වීම් හා පීඩන වෙනස්කම් ඇතිවිය හැකි බවත් ආචාර්ය සක්කාෆ් මහතා පැහැදිලි කළේය.
සාම්ප්‍රදායිකව මෙවැනි අවස්ථාවලදී කන් බෙරයේ කුඩා සිදුරක් සාදා තරලය ඉවත් කිරීම හෝ පීඩනය සමාන කිරීම සඳහා ග්රොමෙට් (grommet) නම් කුඩා ප්ලාස්ටික් නලයක් ඇතුල් කිරීම ශ්‍රී ලංකාවේ සිදු කෙරේ. “කන් බෙරයට හානි කළ පසු රෝගීන්ට පිහිනීමට නොහැකි අතර ස්නානය කරන විටද ඉයර්ප්ලග් භාවිතා කිරීමට සිදුවනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
නව ක්‍රමවේදය යටතේ විශේෂ උපකරණ භාවිත කරමින් නාසය හරහා කුඩා එන්ඩොස්කෝපයක් යුස්ටේෂියානු නාලය වෙතට ඇතුළු කර අවහිරතා ඉවත් කරනු ලැබේ. මෙම ක්‍රමය මඟින් කනෙහි මුල් ස්වභාවය ආරක්ෂා වන අතර, මධ්‍ය කර්ණයේ අවහිරතා ඉවත් කර රෝගීන්ට ස්ථිර සහනයක් ලබා දිය හැකිය.
ඊයේ සිදු කළ ශල්‍යකර්මය සාමාන්‍ය නිර්වින්දනය යටතේ ශල්‍යාගාරයේදී සිදු කෙරිණි. කෙසේ වෙතත්, මෙම ක්‍රමය සායනවලදී හෝ බාහිර රෝගී පසුබිම්වලදී ප්‍රාදේශීය නිර්වින්දනය යටතේ වුවද සිදු කළ හැකි බව ආචාර්ය සක්කාෆ් මහතා සඳහන් කළේය.
“මෙවැනි ශල්‍යකර්මයක් මීට පෙර ශ්‍රී ලංකාවේ සිදු කර නැහැ, නමුත් ඉන්දියාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදයේ මෙය සිදු කරනවා,” යැයි ආචාර්ය සක්කාෆ් මහතා පැවසීය. එක්සත් රාජධානියේ සිටියදී මෙම ශල්‍යකර්මය සිදු කිරීමේ අත්දැකීම් තමාට ලැබුණු බවත්, එය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට තමන් උනන්දුවෙන් සිටි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
ඊයේ (ඔක්තෝබර් 21) රෝගීන් තිදෙනෙකුට සාර්ථකව ශල්‍යකර්ම සිදු කළ බව ද ඔහු තහවුරු කළේය.