මෙම වසරේ අවසන් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය හෙට (ඔක්තෝබර් 14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වන අවසන් කාර්තුව සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනා කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සැප්තැම්බර් 18 වැනිදා නැගෙනහිර පළාතෙන් ආරම්භ වූ අතර, එහි අවසන් අදහස් විමසීම පසුගිය ඔක්තෝබර් 8 වැනිදා බස්නාහිර පළාතේදී සිදු කෙරුණි. මෙම සැසිවාරවලදී පුද්ගලයන් 500කට අධික පිරිසක් අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇත.
එහිදී ඉදිරිපත් වූ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධනය සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් වන කොමිසමේ තීරණය හෙට (14 වැනිදා) ප්‍රකාශයට පත්කරනු ඇත.
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය අවධාරණය කළේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු නිවැරැදිව සිදු නොවුණහොත් ඉදිරියටත් විදුලි බිල වැඩිවීම නතර කළ නොහැකි බවයි. ඔවුන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා කියා සිටියේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
තවද, විදුලිය පාවිච්ච් කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල මහතා පෙන්වා දුන්නේ විදුලිබල මණ්ඩලය කොටස් කිරීම මගින් දැනට රුපියල් ලක්ෂ 15ක්ව පවතින අධ්‍යක්ෂ මණ්ඩල ගාස්තුව රුපියල් කෝටියකට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බවයි.