නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර මුද්‍රණය යළි ආරම්භ කර තිබේ.
ඒවා මුද්‍රණය කරන කාඩ් නොමැති වීම හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෙලෙස නතර කර තිබූ අතර, ඒ වෙනුවට මේ වන තෙක් තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කෙරුණි.
ඒ අනුව මුද්‍රණය කිරීමට පවතින රියදුරු බලපත්‍ර සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න වේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කරන්නේ, ස්ථාන තුනකදී රියදුරු බලපත්‍ර මුද්‍රණය සිදු කරන බවයි. ඒ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මධ්‍යස්ථානය, හම්බන්තොට සහ අනුරාධපුර පිහිටි අතිරේක මධ්‍යස්ථාන වලදීය.
දෛනිකව රියදුරු බලපත්‍ර 6,000කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව කමල් අමරසිංහ මහතා සඳහන් කළේය. ඉන් 1,500ක් නිකුත් කෙරෙන්නේ එක්දින සේවාව යටතේ වන අතර, සාමාන්‍ය සේවාව යටතේ දිනකට නිකුත් කිරීමට අපේක්ෂා කරන රියැදුරු බලපත්‍ර සංඛ්‍යාව 4,500කි.
ඒ අනුව ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර ඉදිරි සති දෙක තුළ මුද්‍රණය කර බෙදා හැරීමට හැකි වනු ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. මේ අතර, තවත් රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 10ක් ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇත.