දැනට වේරහැර සහ හම්බන්තොට පිහිටි කාර්යාල මගින් පමණක් එක්දින සේවා යටතේ සිදුකරන රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ලබන වසරේ (2026) සිට කුරුණෑගල, බදුල්ල හා අම්පාර දිස්ත්‍රික් කාර්යාල මගින් ද සිදු කිරීමට සැලසුම් කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවේ, දිස්ත්‍රික් කාර්යාල 12ක් දැනටමත් වේරහැර ඩිජිටල් පද්ධතිය සමඟ සම්බන්ධ කර ඇති බවත්, සෙසු දිස්ත්‍රික් කාර්යාල 13 ද මෙම පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
ඒ අනුව, රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු කාර්යයන් කාර්යක්ෂමව කරමින් මහජනතාවට අපහසුතාවකින් තොරව සේවා ලබා ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කරන බව ද ඔහු කියා සිටියේය.
තවද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වන වේරහැර කාර්යාලයට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් යොදවා දෛනිකව මුද්‍රණය කරන රියදුරු බලපත්‍ර සංඛ්‍යාව පන්දහසක් (5,000) දක්වා වැඩි කිරීමට ද සැලසුම් කර තිබේ.
මේ අතර රියැදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා යොදා ගන්නා කාඩ්පත් ලක්ෂයක් ද ඉදිරියේදී ලැබීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.